කුසල් 99න් එක්දින තරගාවලියට ජය ගෙනෙයි

කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ ඊයේ පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් හිමිකරගනිමින්. කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වුනු තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ කොදෙව් නායක මාලන් සැමුවෙල්ස්. ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා. මුල් කඩුලු දෙක අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක් එක් කරන්නට ජොන්සන් චාල්ස් සහ ඩැරන් බ්‍රාවෝ සමත් වුනා. චාල්ස් පන්දු 70කින් ලකුණු 83ක් රැස් කලේ 4පහර 7ක් සහ 6 පහර 4ක්ද ඉනිමට ඇතුලත් කරමින්. මාලන් සැමුවෙල්ස් ලකුණු 63ක් රැස් කලා. කොදෙව් ඉනිමේ 27 වන පන්දුවාරයේදී ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරගයේ පැය තුනක් පමණ අහිමි වුනා.ඒ වන විට ඔවුන් කඩුලු 4කට ලකුණු 149ක් ලබා සිටියා. වර්ෂාව නිසා තරගය සීමා කෙරුණේ පන්දුවාර 38කට. පන්දුවාර 37.4කදී සියල්ලන් දැවී කොදෙව් පිල රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 214ක්. කොදෙව් ඉනිමේ අවසන් කඩුලු 4 පන්දු 5ක් තුල දැවී ගියේ දුවද්දී දැවීයාම්වලට හසුවීමෙන්. මිලින්ද සිරිවර්ධන සහ මාලිංග කඩුලු 2 බැගින් දවාගත්තා.

ඩක්වර්ත් ලුවිස් ක්‍ර‍මය අනුව ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 225ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 225ක් ලබා ජය වාර්තා කලේ පන්දු 9ක් ඉතිරිව තිබියදී. දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 156ක් සබදතාවක් ගොඩ නැගීමට කුසල් ජනිත් සහ ළහිරු තිරිමාන්න සමත් වුනා. එය කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකා දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු හොදම සබදතාවයි. කුසල් දැවී ගියේ ලකුණු 99ක් ලබා සිටියදී. හතරේ පහර හයක් සහ හයේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුලත් වුනා.

එක්දින තරගයකදී ලකුණු 99දී දැවී ගිය  හතරවන ශ්‍රී ලාංකිකයා වන්නේ කුසල් ජනිත්. මින් පෙර සනත් , කලුවිතාරණ සහ ඩිල්ෂාන් ලකුණු 99දී දැවී ගොස් තිබෙනවා. එක්දින තරගවලදී ලකුණු 99ට දැවී ගිය අවසන් ක්‍රීඩකයන් 6 දෙනාගෙන් තිදෙනෙකුම දවාගෙන තිබෙන්නේ රවි රම්පෝල් වීමත් විශේෂත්වයක්. ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 81යි. තරගයේ වීරයා ලෙස කුසල් ජනිත් සම්මාන දිනාගත්තා. මාලිංග මෙන්ම කණ්ඩායමේ සියලුදෙනාම තම දක්ෂතා අතරට පැමිණ ඇති බව ඔහු ප්‍ර‍කාශ කලා.

ශ්‍රී ලංකා කොදෙව් තුන්වන එක්දින තරගය ලබන සෙනසුරාදා පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී.