අබලන් තණතීරුව නිසා තරගය නවතී

නවසීලන්ත කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ තුන්දින පුහුණු තරගය අත්හැර දැමුණා. ඒ කීඩාංගණයේ තණතීරුව පළමු පෙල තරගයකට නුසුදුසු තත්වයක පැවතීම හේතුවෙන්. පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ පළමු කඩුල්ල බිද වැටුනේ ලකුණු 503දී. දෙවන දින දිවා ආහාරයට සුළු වේලාවකට පෙර රයන් කාටර්ස් ලකුණු 209කට දැවී ගියා. ඒරොන් ෆින්ච් නොදැවි ලකුණු 288යි. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුනු ලකුණු 503ක සබදතාව ඔස්ට්‍රේලියා පළමු පෙල ක්‍රිකට් වාර්තාවක් ලෙස සටහන් වුනා. පළමු කඩුල්ල බිද වැටීමෙන් පසු ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සිය ඉනිම අත්හිටුවීමට තීරණය කලා. මිනිත්තු 10කට පසු නිව්සීලන්ඩර්ස් ඉනිම ආරම්භ විය යුතු වුවත් ඔවුන් පිටියට පිවිසුනේ නැහැ. විනිසුරුවරු සහ කණ්ඩායම් දෙකේ නායකයන් සිදුකල සාකච්ඡාවකින් පසු තරගය අත්හැර දැමුණා. සිඩ්නිහි බ්ලැක්ටවුන් අන්තර්ජාතික පිටියේදී තරගය පැවැත්වුනේ. එහි තණතීරුව දැඩි වියලි ස්වභාවයක් ගත් අතර පන්දු යවන්නන්ට කිසිදු සහයෝගයක් දැක්වූයේ නැහැ. අද දිනයේ යැවුනු පන්දුවාර 31 තුල වේග පන්දු යවන්නන් යොදා නොගැනීමට නිව්සීලන්ඩර්ස් නායක බ්‍රෙන්ඩන් මැකලම් තීරණය කලේද මේ හේතුවෙන්. නවසීලන්ත ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය ඇරඹෙන්නේ නොවැම්බර් 5 වනදා.

Leave a Comment